How to Free Up Hard Disk Space on Windows 10

පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකේ හිස් ඉඩකඩ ආපසු ගන්නේ කොහොමද?

පරිගණකයේ හිස් ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා අලුතින් files සේව් කරගන්න, අලුතින් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න බැරුව ලතවෙන අයට මෙන්න පොඩි උපදෙස් පහක්!

දැනට අලුතින්ම එන ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් කොම්පියුටර් වල සාමන්‍යයෙන් හාර්ඩ් ඩිස්ක් වල storage capacity, එහෙමත් නැත්නම් ධාරිතාව මනින්නේ ටෙරාබයිට් වලින්නේ. හැබැයි මීට අවුරුදු කිහිපයකට කලින් ආපු කොම්පියුටර් වල නම් ඒ තරම් විශාල ධාරිතාවක් තියෙන හාර්ඩ් ඩිස්ක් තිබුනේ නෑ.

ඇත්තම කිව්වොත් මේ ලියන මටත් තියෙන්නේ 500GB හාර්ඩ් ඩිස්ක් එකක් තියෙන, අවුරුදු හතක් විතර පරණ ලැප් එකක්! විශ්වාස නෑ නේද? ඉතින් මට තියෙන ගැටලුව තමයි, දැන් අවුරුදු ගානක් එක එක විදියේ files සේව් කරලම මගේ හාර්ඩ් ඩිස්ක් එක ෆුල් වෙන්න ඔන්න මෙන්න, කොහොමද මේ හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ ටිකක් හරි වැඩි කරගන්නේ කියන එක.

පේනවනෙ?

ඉතින් මෙහෙම ෆුල් වේගෙන එන හාර්ඩ් ඩිස්ක් ඔයා ලගත් ඇති, නැතිවෙන්න බෑ. ඉතින් මම මේ ලිපියෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අන්න ඒ වගේ හාර්ඩ් ඩිස්ක් එකක free space එක ටිකක් වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැනයි.

මගේ ලැප් එකේ මම පාවිච්චි කරන සරල ක්‍රම ටිකක් තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයාර් කරගන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතිව බලමු නේද?

01. Empty Recycle Bin

File එකක් උඩ right click කල විට මතු වෙන මෙනුවෙන් Delete විකල්පය තේරීමෙන් හෝ කීබෝඩ් එකෙන් Delete බොත්තම එබීමෙන් ෆයිල් එකක් හාර්ඩ් ඩිසක් එකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ නෑ. ඇත්තටම සිදුවෙන්නේ එය තාවකාලිකව වෙනත් Folder එකකට යෑමයි.

අන්න ඒ Folder එක තමයි Recycle bin කියන්නේ.

ඔයා නොදැනුවත්වම අර කලින් කිව්වා වගේ delete කරපු ෆයිල් ගොඩක් Recycle bin එකේ තැන්පත් වෙලා ඇති. ඒ ෆයිල් ටික delete කරලා දාන්න. ඔබට ඒකෙන් සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් නිදහස් කරගන්න පුලුවන් වේවි.‍

කොහොමද Recycle bin එක empty කරන්නේ?

  1. Desktop එකේ තියෙන ‘Recycle bin’ අයිකන් එක මත ඩබල් ක්ලික් කර එය විවෘත කරගන්න.
  2. Manage ටැබ් එකේ තියෙන Empty Recycle Bin බොත්තම මත ක්ලික් කරන්න.
  3. වින්ඩෝස් ඔයාගෙන් අහවි “ෂුවර් එකටම මකන්නද“ කියලා. ඒකට Yes දෙන්න.
How to Free up Disk Space on Windows 10 by Emptying Recycle Bin

Please note: Recycle bin එක ක්ලීන් කරන එකට නං ඉතින් රිවස් ගියර් එකක් නැති බව මතක තියා ගන්න. මැකුවොත් මැකුවම තමයි. ඒ නිසා මේ වැඩේ කරන්න කලින් බලන්න වැරදිලා හරි මැකිච්ච වැදගත් ෆයිල්/ෆෝල්ඩර් එහෙම recycle bin එකේ තියෙනවද කියලා.

02. Uninstall Unused Apps

සමහර සොෆ්ට්වෙයාර් තියෙනවා ආසාවට ඉන්ස්ටෝල් කරපු හැබැයි, ඊට පස්සේ ජීවිතේට ඇහැක් ඇරලා බලපු නැති. සමහරවිට ඔයාගේ කොම්පියුටර් එකෙත් ඇති. එහෙම තියෙනවා නම් ඒවා uninstall කරලා දාන්න.

ඒ විතරක් නෙවෙයි, අපි අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරන සමහර සොෆ්ට්වෙයාර් තියෙනවා bundle-ware වර්ගයේ. ඒ කියන්නේ එක් ප්‍රධාන මෘදුකාංගයක් එක්ක තවත් පොඩි පොඩි ඇප්ස් කෑලි අමුණලා එවන ඒවා (browser toolbars, gadgets වගේ). එහෙම තිබුනොත් අපි එක සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරනකොට අපිටත් නොදැනීම තව සොෆ්ට්වෙයාර් කිහිපයක් ඉන්ස්ටෝල් වෙලා.

නිකං ඩිස්ක් එකේ ඉඩනෙ යන්නෙ නේද? ඒ නිසා අඩු ගානෙ මාසයකට සැරයක් වත් ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප්ස් ලිස්ට් එක පරීක්ෂා කරන්න මතක තියාගන්න.‍

මෙන්න මෙහෙමයි Windows 10 වල අනවශ්‍ය මෘදුකාංග ඉවත් කරන්නේ…

  1. Start > Settings > System > Apps & features පාත් එක හරහා ඇප්ස් ලැයිස්තුවට යන්න.
  2. හොදට පරීක්ෂා කරලා බලන්න ඔයාට අනවශ්‍ය, සෑහෙන කාලෙකින් පාවිච්චි නොකරපු ඇප්ස් එහෙම තියෙනවාද කියලා.
  3. එහෙම ඇප් එකක් තිබුනොත් ඒ මත click කරන්න. එවිට මතුවෙන Uninstall බට්න් එකෙන් පහසුවෙන්ම අදාල ඇප් එක ඉවත් කරගන්න පුලුවන්.
How to Free up Disk Space on Windows 10 by Removing Unused Apps

03. Remove Duplicates‍

මොනවද මේ duplicates?

එකම ෆයිල් එකේ අනු පිටපත් තමයි මේ duplicates කියන්නේ. මේ අනු පිටපත් original file එකේ නමින්ම හෝ වෙනත් නමකින් හෝ ඔයාගෙ පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකේ ඕනෑම තැනක තියෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් duplicates වැඩිපුරම හැදෙන්නේ පින්තූර සහ mp3 files වල. මොකද ඉතින් ඒවා අපේ අතට අහුවෙන හැම තැනින්ම ගෙනෙල්ලා කොම්පියුටර් එකේ ගොඩ ගහගන්නවානෙ නේද?‍

මේ duplicates ෆොල්ඩර් එකින් එක විවෘත කරලා හොයන එක ලේසිපාසු වැඩක්නම් නෙවෙයි. ඒ සදහාම නිර්මාණය කරපු මෘදුකාංගයක් භාවිතා කරන එක තමයි හොදම විකල්පය.

ඒ සදහා හොද මෘදුකාංගයක් තමයි CCleaner කියන්නේ. නොමිලයේ දෙන සංස්කරණය මේ වැඩේට හොදටම ප්‍රමාණවත්. CCleaner භාවිතා කරමින් හාර්ඩ් ඩිස්ක් එකේ duplicate files හොයාගන්නේ මෙන්න මෙහෙමයි.

04. Use Disk Cleanup‍

Windows මෙහෙයුම් පද්ධතිය සමගම එන අගනා utility එකක් තමයි “Disk cleanup” කියන්නේ. මෙමගින් ඔබේ පරිගණකයේ system partition එකේ (Windows ඉන්ස්ටෝල් කර තිබෙන පාටිෂන් එක) තිබිය හැකි download files, temporary files, memory dump files, hibernation files වගේ අනවශ්‍ය ෆයිල්ස් ගණනාවක් ඉවත් කර දමන්න පුලුවන් වෙනවා. ඒ නිසා මේ පියවර වඩාත් වැදගත් වෙන්නේ system partition එකට.

කොහොමද Disk Cleanup පාවිච්චි කරන්නේ?

ස්ටාර්ට් මෙනු එකේ disk cleanup ලෙස ටයිප් කර search කරන්න. ඉන් පසු Disk Cleanup utility එක මත ක්ලික් කර එය විවෘත කරගන්න. හාර්ඩ් ඩිස්ක් පාටිෂන් ලැයිස්තුවෙන් ඔබේ පරිගණකයේ Windows ඉන්ස්ටෝල් කර ඇති පාටිෂන් එක තෝරා OK බොත්තම මත ක්ලික් කරන්න.

Disk Cleanup utility එක ඔබේ Windows system partition එක පරීක්ෂා කර ඉවත් කළ හැකි ෆයිල් ලැයිස්තුවක් ඔබට ඉදිරිපත් කරාවි.

ඔබට ඉවත් කළ යුතුයැයි හැගෙන අයිතම ටික තෝරා අවසානයේ OK බොත්තම මත ක්ලික් කරන්න. (පහල තිර ඡායාරූපය බලන්න.)

How to Free up Disk Space on Windows 10 by Using Disk Cleanup

05. Clean Up the Downloads Folder

සාමාන්‍යෙයන් ඔබ අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරන විවිධ ෆයිල්ස් සේව් වෙන්නේ ඔයාගේ user account එකේ Downloads ෆෝල්ඩර් එකේනෙ. ඕක කොම්පියුටර් එකක් පාවිච්චි කරන ගොඩක් අය වෙනස් කරන්න යන්නේ නෑ.

ඉතින් ඔය කියන Downloads ෆෝල්ඩර් එක බැරිවෙලාවත් විවෘත කරලා බැලුවොත්, ඒකට පිස්සං කොටුව පරාදයි. මේ තියෙන්නේ ඒ වගේ එකක්!

පින්තූර, ගීත, වීඩියෝ, චිත්‍රපට, ඇප්ස්, සහ එකී මෙකී නොකී දහසකුත් දේ එකම තැනකින් ගන්න පුලුවන් තැනක්! ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ Downloads ෆෝල්ඩර් එක හොදට පරීක්ෂා කරලා අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවා මකලා දාන එක!

Final Words,

මම මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වුනේ හාර්ඩ් ඩිස්ක් එකක අනවශ්‍ය ලෙස පිරී තිබෙන සමහර ෆයිල්ස් ඉවත් කරමින් එහි නිදහස් ඉඩ ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැනයි. ඇත්තටම මේ එක ක්‍රමයක වත් සංකීර්ණ තාක්ෂණික කරුණු නැහැ. මේ හැමදේම මම මගේ ලැප් එකෙත් නිතරම වගේ පාවිච්චි කරන සරල දේවල්.

ඉතින් ඒ උපදෙස් ඔයාලටත් වැදගත් වුනානම් ඒක තමයි මගේ සතුට. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබට ආයුබෝවන්! ගැටලු එහෙම තියෙනවානම් කොමෙන්ට් එකක් දාන්න හොදේ?.

Featured image credit: https://www.guitricks.com/2016/04/how-to-free-up-hard-disk-space-in-windows.html

Indika Jayawardhana
A lovely husband and father in real life. A proud teacher in professional life. I convert my thoughts into words in this blog because I'm an addict to computer technology.
Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.