Software engineer master

ඕනෑම මෘදුකාංගයක් පහසුවෙන්, ඉක්මනින් ඉගෙන ගන්නේ මෙහෙමයි.

අලුතින් සොෆ්ට්වෙයාර් එකක් හම්බ උනාද? පාවිච්චි කරන්නෙ කොහොමද කියලා දන්නේ නැද්ද? ඇත්තම කිව්වොත්, “අලුත් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න ඉගෙන ගන්න එක මහ අමාරු දෙයක්“ ය කියලා හිතාගෙන ඉන්න අයටයි මේ ලිපිය.

නිකමට හිතන්නකෝ, හදිසියේ මොකක් හරි හේතුවක් නිසා ඔයාගෙ කොම්පියුටර් එක වැඩ කරන්නෙ නැතුව ගියා. හදිසි වැඩක්! ඉතින් කොහොම හරි වැඩේ කරගන්නත් එපායැ. ඒ නිසා යාලුවෙක් ගෙ කොම්පියුටර් එකක් හරි කැෆේ එකක තියෙන කොම්පියුටර් එකක් හරි හොයාගෙන ගත්තා.

හැබැයි ඉතින් කාටද කියන්න පුලුවන් ඔයාගෙ කොම්පියුටර් එකේ තියෙන සොෆ්ට්වෙයාර් සෙට් එකම යාලුවගෙ කොම්පියුටර් එකෙත් එහෙම්මම තියේවි කියලා. මොකද ඉතින් එකම වැඩේ කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් සිය ගානක් ලෝකෙ තියෙනවානෙ!

ඉතින් මේ හැම එකම දැනගෙන ඉන්නෙ කොහොමද? ඒක කරන්න බැරි වැඩක්. හැබැයි, ඕනෑම අලුත් සොෆ්ට්වෙයාර් එකක් පහසුවෙන් සහ ඉක්මනින් ඔයාට ඉගෙන ගන්න පුලුවන් මම මේ කියන කරුණු ටික හොදින් මතක තියාගෙන හිටියොත්.

ඉතින් කියවන්නකො එහෙනං!

01. එකම වර්ගයේ මෘදුකාංගවල අතුරුමුහුණත බොහෝ සමානයි.

එකම කාර්යය ඉටු කර ගැනීම සදහා නිර්මාණය කර ඇති විවිධ මෘදුකාංග විශාල සංඛ්‍යාවක් තිබුනත් ඒවායේ අතුරුමුහුණතේ බොහෝ සමානකම් දකින්න පුලුවන්. ඉතින් ඒ නිසා අලුත් මෘදුකාංගයක් එක්ක ඔයාට වැඩ කරන්න සිදු වුනත්, මීට පෙර එවැනිම වෙනත් මෘදුකාංගයක් පාවිච්චි කරලා අත්දැකීම් තියෙනවා නම්, ඔයාට ඒ වැඩේ එතරම් අමාරු වෙන්න හේතුවක් නෑ.

උදාහරණයක් විදියට, බලන්න මේ තිර ඡායාරූපය දිහා. මේ තියෙන්නේ Opera, Firefox සහ Chrome යන වෙබ් බ්‍රව්සර් තුනේ අතුරුමුහුණත් තුන.

5 Tips to Learn Any New Software Quickly
See the Same interface of 3 web browsers – Firefox, Opera and Chrome

මේ තියෙන්නේ තවත් උදාහරණයක්. මේ රූපයෙන් පෙන්වන්නේ MS Word සහ WPS Writer කියන මෘදුකාංග දෙකේ අතුරුමුහුණත් දෙක.

5 Tips to Learn Any New Software Quickly
See the Same interface of 2 word processors – MS Word and WPS Writer

කොහොමද, සමානයි නේද? ඉතින් වැඩේ අමාරු නෑ නේද?‍

02. විධාන ස්ථානගත කර ඇති ආකාරය

ඔබට ලිපියක හෝ ඉමේජයක ප්‍රින්ට් අවුට් එකක් ගන්න ඕනෙ නම් ඕපන් කල යුත්තේ මොන මෙනුව ද? අනිවාර්යයෙන් ම ඔබ File මෙනුවට යා යුතුයි.

අන්න ඒ වගේ මෘදුකාංගයක දකින්නට ලැබෙන විධාන වලින් 90% ක්ම වාගේ විවිධ මෘදුකාංගවල සමානව ස්ථානගත කරලා තියෙනවා.

File, Format, Insert ආදී මෙනු සහිත මෙනුබාර් අතුරුමුහුණතක අපි බහුලව ම භාවිතා කරන විධාන කිහිපයක් ස්ථානගත කරලා තියෙන්නේ මෙහෙමයි.

  • File menu > New, Open, Save, Import, Export, Print, …
  • Edit menu > Copy, Cut, Paste, Undo, Redo, Select all, …
  • Format menu > Font, Paragraph, Margins, Tabs, …
  • Insert menu > Picture, Table, Object, Clip art, Drawing, Text box, …

ඒ වගේම, MS Word වැනි Ribbon toolbar අතුරුමුහුණතක් තියෙන මෘදුකාංග වලත් ඒ ආකාරයටම තර්කානුකූලව විධාන පෙළගස්වලා තියෙනවා.

උදාහරණයක් විදියට, මීට ටිකකට උඩින් ඔබ දැකපු MS Word සහ WPS Writer මෘදුකාංග දෙකේ තිර ඡායාරූපය බලන්න. එහෙමත් නැතිනම් ඔබේ පරිගනකයේ ඉන්ස්ටෝල් කරලා තියෙන MS Word, MS Excel, MS Powerpoint යන මෘදුකාංග විවෘත කරලා බලන්න.

03. Keyboard Shortcuts‍ ඉගෙන ගන්න

විවිධ මෘදුකාංග වල භාවිතා කරන බොහෝ keyboard shortcuts අපිට කිසිම ගැටලුවක් නැතිව ඕනෑම මෘදුකාංගයක් එක්ක භාවිතා කරන්න පුලුවන්. මේ තියෙන්නේ ඒවායින් කිහිපයක්.

  • Ctrl + N – අලුත් වින්ඩෝවක් විවෘත කිරීම
  • Ctrl + O – සේව් කර ඇති ගොනුවක් විවෘත කිරීම
  • Ctrl + C – තෝරා ඇති කොටසක් clipboard එකට පිටපත් කර ගැනීම
  • Ctrl + X – තෝරා ඇති කොටසක් ඉන් ඉවත් කර clipboard එකට තල්ලු කිරීම
  • Ctrl + V – Clipboard එකට පිටපත් කරගන්නා ලද දෙය අලුත් තැනක අලවා ගැනීම/තැන්පත් කිරීම
  • Ctrl + P – මුද්‍රිත පිටපතක් ලබා ගැනීම

ඉහතින් දැක්වූ keyboard shortcut වලට අමතරව තවත් එවැනිම keyboard shortcut 20 ක් ඔබට මේ ලිපියෙන් දැනගන්න පුලුවන්.

04. මෘදුකාංගයත් එක්ක එන Help system එක පාවිච්චි කරන්න‍

සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරගෙන යද්දි එන සමහර ගැටලු වලට විසදුම් හොයාගන්න එක ටිකක් අමාරුයි තමයි. ඒත් ඒ අමාරුව ටිකක් විතර ෂේප් කරන විශේෂාංගයක් තමයි, ‘help’ කියලා කියන්නේ.

ඔයාලට කරන්න තියෙන්නේ එවැනි අවස්ථාවක දී F1 යතුර එක වරක් ඔබන එක විතරයි. ටික වේලාවකින් අදාල මෘදුකාංගය සමග ඉන්ස්ටෝල් කෙරුණු help window එක (හෝ එවැනි help system එකක් ඉන්ස්ටෝල් කර නොමැති නම් එහි online සංස්කරණයක් වෙබ් බ්‍රව්සරය තුලින්) විවෘත වේවි.

ඔයාලට කරන්න තියෙන්නේ විවිධ මාතෘකා ඔස්සේ ඔබේ ගැටලුවට විසදුම් සොයා ගැනීමයි. හැබැයි, ඉංග්‍රීසි ටිකක් විතර තේරුම් ගන්න පුලුවන් වෙන්නත් ඕනෙ මේ වැඩේට!

ඔය පහල තියෙන්නේ MS Word එක්ක එන help system එක. ඊටත් පහලින් තියෙන්නේ Chrome වල online help system එක.

MS Word Help
MS Word Help
Google Chrome Help
Google Chrome Help

05. Google වල සර්ච් කරන්න ඉගෙන ගන්න

ගැටලුවක් ආවොත් help window එක භාවිතා කරනවට වඩා නම් මේක ලේසියි වගේම තියෙන තොරතුරු කියවලා තේරුම් ගන්නත් පහසුයි. ඔයාට ඕනෙ නම් සාමාන්‍ය පාඩමක් වගේම වීඩියෝ පාඩම් එහෙමත් හොයා ගන්න පුලුවන්.

කරන්න තියෙන්නේ ඔයාගෙ ගැටලුව දාලා Google වල සර්ච් පාරක් දාන එක විතරයි. එහෙම සර්ච් කරනකොට ගැටලුවත් එක්ක ඔයා පාවිච්චි කරන මෘදුකාංගය වගේම, එහි සංස්කරණය මොකක් ද කියන එකත් දාන්න පුලුවන් නම් වඩාත් නිවැරදි තොරතුරු ලබාගන්න පුලුවන්. ඒකට ඉතින් Google search එකක් හරියට කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්නත් ඕනේ.

හරියට මේ වගේ.

  • how to mail merge in ms word 2016
  • how to insert a chart in excel 2019
  • how to get fade effect in photoshop CS

මේ ‍තියෙන්නේ ඒ වගේ සර්ච් එකකට ආපු රිසල්ට් පිටුවක්.

එහෙනම්, ඔන්න මගේ උපදෙස් ටික ඉවරයි,

දැන් තියෙන්නේ ඔයාලගෙ වාරේ. අලුත් සොෆ්ට්වෙයාර් එකක් අතගාන්න ලැබුනම බය වෙන්න එපා. මේ කියපු දේවල් අත්හදා බලන්න. ඇත්තටම මට අලුතින් සොෆ්ට්වෙයාර් එකක් ලැබුනම ඒක ඉගෙන ගන්න පාවිච්චි කරන්නෙත් මේ ක්‍රමවේදයම තමයි.

ඒ අතරින් මම කැමතිම Google search කරන්න. මොකද අන්තර්ජාලයේ තියෙන්නෙත් ඔයාලා අපි වගේ සාමාන්‍ය අය ලියන ලිපි සහ හදන වීඩියෝ. ඒවා කියවලා/බලලා තේරුම් ගන්න හරිම ලේසියි.

හැබැයි ඇත්තම ඇත්තක් කියන්න ඕනෙ. මම ඔය උඩින් අංක 04 ට දාපු එක තියෙනවා නේද? ඒක තමයි මම අඩුවෙන්ම පාවිච්චි කරන ක්‍රමය. මම උපරිම වුනොත් හත් අට වතාවක් ඔය මෘදුකාංග වල help system එක පාවිච්චි කරලා ඇති.

ඉතින් ඔයාල කැමති මේ ක්‍රම වලින් මොන එකටද, අපිට කියන්න. ඒ වගේම මේ එකකටවත් නැති වෙනත් ක්‍රමයක් ඔයා අලුත් සොෆ්ට්වෙයාර් ඉගෙන ගන්න පාවිච්චි කරනවා නම් ඒකත් අපිට කියන්න, කොමෙන්ට් එකක් දාන්න. අනිත් අයටත් ඒක දැනගන්න පුලුවන් වේවි.

1
Leave a Reply

Please Login to comment
avatar
1000
1 Comment threads
0 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
0 Comment authors
20 Wonderful Universal Windows Quick Keys. Number 16 is Absolutely Stunning. » 5 Computer Tips & Tricks Recent comment authors

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
newest oldest most voted
Notify of
trackback

[…] Did you know?Using quick keys is also an essential skill to learn any new software quickly […]