Basic Computer Skills Needed for Employment

රැකියාවක් අපේක්ෂා කරන ඔබ දැනගත යුතුම පරිගණක හැකියාවන් 6 ක්

රැකියාවක් කරනවාද? නැත්නම් රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවාද? කාලීන අවශ්‍යතාවයක් වන පරිගණක හැකියාවන් වැඩිදියුණු කරගනිමින් වෘත්තීය ජීවිතය සාර්ථක සහ පහසු කර ගැනීමට උත්සාහ කරන ඔබ වෙනුවෙන් තමයි මේ ලිපිය.

ඔබ දැනටමත් දන්නවා, අපි දැන් මේ ගත කරන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ. තවත් විදියකින් කිව්වොත් අපිට කරන්නට සිදුවෙන අපේ එදිනෙදා හැම කාර්යයක් සමගම වාගේ පරිගණක තාක්ෂණය කුමන හෝ ආකාරයකින් සම්බන්ධ වෙලා තියෙනවා.

ඉතින් වෘත්තීය ජීවිතයට පරිගණකය සම්බන්ධ නොවෙන්න හේතුවක් නෑනෙ නේ ද? ඇත්තම කිව්වොත් අද රැකියාවක් බලාපොරොත්තු වෙන සහ රැකියාවක් කරන සෑම කෙනෙකුටම ඉංග්‍රීසි භාෂාව සහ පරිගණක පිළිබද කුසලතාව නැතිවම බැරි වෙලා තියෙනවා.

ඇත්තටම රැකියාවට පරිගණක කුසලතා අවශ්‍ය ද?

මම පුංචි උදාහරණයක් කියන්නම්. රජයේ පාසලක සේවය කරන ගුරුවරයෙක් විදියට මම අද ඇත්තටම ගොඩක් සතුටු වෙනවා මට ඔය ලොකු ලොකු වැඩ්ඩන්ට තරම්ම නැති වුනත්, මගේ එදිනෙදා කටයුතු වලට පරිගණකය හවුල් කරගන්න පුුලුවන් වෙන ප්‍රමාණයේ පරිගණක හැකියාවන් තිබීම ගැන.‍

මොකද මගේ සේවා ස්ථානයේ මාත් එක්ක වැඩ කරන සමහර සහෝදර ගුරුවරු නිතරම වාගේ මම ලවා පරිගණකය සම්බන්ධ පොඩි පොඩි කාර්යයන් කරගන්න මට කතා කරනවා. ලියුමක් ටයිප් කරගන්න, ඉන්ටර්නෙට් ගිහින් පින්තූරයක් ඩවුන්ලෝඩ් කරගන්න, ඊමේල් එකක් දාන්න වගේ පොඩි පොඩි දේවල්.

මට ඒ දේවල් වලට කතා කරන වාරයක් ගානේ එයාලා කියන දෙයක් තමයි, “මට ඕක පුලුවන් වුනා නම් උඹට කරදර කරන්නේ නෑ බං“ කියන එක. මම අනිත් පැත්තට හිටපු ගමන් අහනවා, “ඇයි බං ඉතින් ඉගෙන ගන්නේ නැත්තේ?“ කියලා.

ඉතින් මම ඔයාලට අවධාරණයෙන් කියන්නේ, ඇයි ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් වලට තවත් කෙනෙක් ඉස්සරහ පින්සෙණ්ඩු වෙන්නේ, මේවා ඉගෙන ගන්න, මහලොකු අමාරු දේවල් නෙවෙයිනෙ නේද?

රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් එසේම තමයි.

මතක තියාගන්න ඔබත් කවදාහරි රැකියාවකට සම්බන්ධ වෙනවා කියන එක. අන්න එදාට මොකද වෙන්නේ? ඒ වගේම, ඔබ පෞද්ගලික ආයතනයක රැකියාවකට සම්බන්ධ වෙන්න හිතනවානම්, සමහර විට සම්මුඛ පරීක්ෂණයෙන්ම කැපෙන්න පුලුවන් මූලික පරිගණක හැකියාවන් නොතිබුනොත්.

ඉතින් මම කොහොමද මේවා ඉගෙන ගන්නේ?

පරිගණක ක්ෂේත්‍රයේ රැකියා ඇරෙන්න, අනෙක් ක්ෂේත්‍ර වලදී පරිගණක හැකියාවන් තිබීම ගැන මිසක් ඒ සම්බන්ධ සහතික තිබීම ගැන කවුරුවත් සලකා බලන්නේ නෑ. ඒ නිසා අන්තර්ජාලයෙන්, විවිධ පතපොත කියවීමෙන් නිවසේ සිටම තනිවම ඉගෙන ගැනීමෙන් පරිගණක කුසලතා වැඩිදියුණු කර ගැනීම හොදටම ප්‍රමාණවත්.

ඒකට දහස් ගණන් මුදල් වැයවෙන්නෙත් නෑ, කාලයත් ඉතිරියි, පහසුයි, අපිට අවශ්‍ය විදියට අවශ්‍ය වේලාවට අපේ විදියට ඉගෙන ගන්නත් පුලුවන්.‍

ඉතින් මොනවාද තිබිය යුතු පරිගණක හැකියාවන්?

හා දැන් කයිවාරුව ඇති, බහිමු මාතෘකාවට දැන්වත්!

පටන් ගන්න කලින් කියන්න ඕනෙ මේ ලිපියෙ තියෙන කරුණු පෙළ ගස්වලා තියෙන්නේ කිසිම විශේෂ ක්‍රමයකට නෙවෙයි. ඒ නිසා සමහර කරුණු අවසානයට දැම්මා කියලා ඒවා ඒතරම් වැදගත් නෑ කියලා වරදවා වටහා ගන්න නම් එපා. හැමදේම එක වගේ වැදගත්.

01. මූලික පරිගණක කුසලතා‍

කොම්පියුටර් එකෙන් මොන දේ කරන්නත් කලින් ඒකත් එක්ක හරියට ගනුදෙනු කරන හැටි දැනගෙන ඉන්න එපායැ නේද? මම හිතන විදියට ඔයාලා හැම කෙනෙක්ම මේ මූලික පරිගණක හැකියාවන් ගැන හොදට දන්නවා. එහෙම නැතිනම්, පුලුවන් තරම් ඉක්මනින් ඉගෙන ගන්න උත්සාහ කරන්න.

ඔයාලාගේ පහසුවට ඔන්න මම ඒ වගේ මූලික පරිගණක කුසලතා ටිකක් ලැයිස්තුගත කළා. බලන්න, අඩුපාඩු එහෙමත් ඇති. එහෙම තිබුනොත් අපිට කියන්න.

  • පරිගණකයක් නිවැරදිව ඔන් ඕෆ් කරන්නේ කොහොමද
  • නිවැරදිව පෙන් ඩ්‍රයිව් එකක්, CD එකක් පාවිච්චි කරන්නේ කොහොමද
  • අලුතින් files/folders හදන්නේ කොහොමද, ඒවා නිවැරදිව කොපි, කට්, පේස්ට් කරන්නේ කොහොමද
  • සොෆ්ට්වෙයාර් එකක් නිවැරදිව ඕපන් කරන්නේ වසා දමන්නේ කොහොමද
  • ෆයිල් එකක් සේව් කරන්නේ කොහොමද
  • ප්‍රින්ට්අවුට් එකක් ගන්නේ කොහොමද

මේවා ඉගෙන ගන්න ආයෙ අමුතුවෙන් දහස් ගණන් වියදම් කරලා කොම්පියුටර් කෝස් කරන්න ඕනෙ නෑ. ඔයාලා ඔය ඉන්ටර්නෙට් එකේ ඉන්න අතරෙම පොඩි search පාරක් දාලා බලන්න Google එකේ. ඕනෙ තරම් විස්තර හොයා ගත්තෑකි!

02. වදන් සැකසුම් (word processing) කුසලතා

ඇත්තටම මොකක්ද මේ වදන් සැකසුම කියන්නේ? MS Word වල මොකක් හරි ලිපියක් ටයිප් කරලා ඒකෙ ප්‍රින්ට්අවුට් ගන්න එකද? ඇත්තටම නෑ. ටයිප් කරන එක වදන් සැකසුමේ පටන් ගැන්ම විතරයි. ඉන් එහාට ගොඩාක් දේවල් කරන්න තියෙනවා.

නිවැරදිව ටයිප් කිරීම, අකුරු හා වචන නිවැරදිව ස්ටයිල් කිරීම (ප්‍රමාණය, වර්ණය වගේ), නිර්මාණශීලීව ඡායාරූප හා ක්ලිප් ආර්ට් යෙදීම, අවශ්‍යතාවය අනුව කඩදාසියේ ප්‍රමාණය තෝරා ගැනීම, මුද්‍රණය කිරීම වගේ ගොඩක් දේවල් වදන් සැකසුමත් එක්ක සම්බන්ධයි.

Basic Computer Skills Needed for Employment
Image credit: https://www.ghacks.net/wp-content/uploads/2019/02/f8-microsoft-word-copy.png

ඔබට ඔබේ වෘත්තීය ජීවිතය තුල ආයතනික අවශ්‍යතා අනුව විවිධ ආකාරයේ වදන් සැකසුම් කාර්යයන් ඉටු කරන්නට සිදුවේවි. රාජකාරි ලිපි, ආරාධනා පත්‍ර, සගරා, පොත්, අත් පත්‍රිකා ආදිය ඉන් සමහරක්. ඉතින් මේ හැමදේම කරන්න ඔයාට හොද word processing හැකියාවක් තියෙන්න ඕනෙ. ඒ වගේම, Word වලින් හෝ වෙනත් ඕනෑම වදන් සැකසුම් මෘදුකාංගයකින් වෘත්තීය මට්ටමේ ඩොකියුමන්ට් එකක් හදන්නේ කොහොමද කියන එකත් දැනගෙන ඉන්න ඕනේ.

03. පැතුරුම්පත් (spreadsheet skills) කුසලතා

ඔබ පෞද්ගලික ආයතනයක සේවය කරන කෙනෙක් නම්, සමහර විට ඔබේ ආයතන ප්‍රධානියා ඔබට කියන්න පුලුවන් පහුගිය අවුරුදු කිහිපය තුල ආදායම් සාරාංශයක්, වියදම් සාරාංශයක් හෝ සේවක වැටුප ගෙවීම් සාරාංශයක් හදලා දෙන්න කියලා.

එහෙමත් නැතිනම්, ඔයා රජයේ ආයතනයක සේවය කරන කෙනෙක් නම්, ඔයාට පහුගිය අවුරුදු කිහිපය තුල ඔයා සේවය කරන ආයතනයෙන් සේවය ලබා ගන්න පැමිණි සේවාදායකයින් ගැන සාරාංශයක් හදලා දෙන්න සිද්ධ වේවි.

අන්න ඒ වගේ වෙලාවට තමයි මේ ‘පැතුරුම්පත්‘ කියන සොෆ්ට්වෙයාර් වර්ගය ඕන කරන්නේ. හා හා, දැන් බය වෙන්න එපා වචනෙට. MS Excel කියන්නේ අපි ගොඩක් දෙනා දන්න ඒ වගේ පැතුරුම්පත් මෘදුකාංගයක්.

Basic Computer Skills Needed for Employment
Image credit: https://www.lowyat.net/2018/153906/microsoft-office-2019-works-windows-10/

ඉතින් Excel වල දත්ත ඇතුලත් කරන්න විතරක් නෙවෙයි, පොඩි පොඩි සමීකරණ එහෙමත් නැතිනම් functions ඇතුලත් කරන්න, ප්‍රස්තාර හදන්න වගේ වැඩ ටිකක් ඔයා දන්නවානම් ඒක මාර වටිනවා.

04. යතුරුලියන හැකියාව

මේක ටිකක් කලින් කියන්න තිබ්බෙ නේද? කමක් නෑ, පේනවනෙ, ටයිප් කරන්න දන්නෙ නැති එකෙක් ඇගිලි උලුක් කරගෙන කීබෝඩ් එකට අනින අපූරුව!

අන්තිමට පැයෙන් කරන්න තියෙන වැඩේට දවස් ගණන් කාලා දාලා, ලැප් එකේ කීබෝඩ් එකත් අස්සට ඔබාගෙන (ඊට පස්සෙ ලැප් එක හදපු උන්ගෙ පරම්පරාවත් මතක් කරලා), බොසාගෙනුත් හොදවැයින් දෙකක් අහගෙන තමයි වැඩේ ඉවර වෙන්නේ.

අන්න ඒකයි මම කියන්නේ, නිකං චාටර් වෙන්නෙ නැතුව ටච් ටයිපිං ඉගෙන ගන්න කියලා.

Touch typing is a style of typing without looking on the keyboard.

https://en.wikipedia.org/wiki/Touch_typing

ඒ කියන්නේ කීබෝඩ් එක දිහා බලන්නෙ නැතුව සට සට ගාලා ටයිප් කරන්න ඕනෙ නම් ටච් ටයිපිං ඉගෙන ගන්නම වෙනවා.

ටච් ටයිපිං පුරුදු වෙන එක ඇත්තටම හරිම ලේසියි. ඔයාට කරන්න තියෙන්නේ ඔය පහල තියෙන රූපයෙන් පෙන්වනවා වගේ අදාල යතුරු වලට ඇගිලි තියාගෙන (home key position), ඊට පස්සේ ඇගිලි ඉහල පහල යවමින් අනෙක් යතුරු ටච් කරමින් ටයිප් කරන්න පුරුදු වෙන එක.

Home keys position

මේකට ඉතින් කීබෝඩ් එකේ එක් එක් යතුරු තියෙන තැන වගේම ඒ ඒ යතුරට අදාල ඇගිල්ල මොකක්ද කියන එක ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනි. ඒ ගැන වැඩිය හිතන්නෙපා. පුරුදු වෙනකොට ඒවා ඉබේම හුරු වෙනවා.

හැබැයි දැන් නම් ටච් ටයිපිං කියා දෙන්න විදියක් නෑ. මොකද මේ ලිපිය ඒ ගැන නෙවෙයිනෙ නේද? අනික ටච් ටයිපිං මෙහෙම පාඩම් වලින් කියලා දෙන්න බෑ (දන්නවනෙ තැපෑලෙන් පීනන්න ඉගෙනගන්න බෑ කියලා). ඒකට පුහුණුවම තමයි ඕන කරන්නේ.

ටච් ටයිපිං පුහුණු වෙන්නම හදපු මෘදුකාංග ඕන තරම් හොයා ගන්න පුලුවන් අන්තර්ජාලයේ එක එක මිල ගණන් වලට. හැබැයි TIPP10 නම් ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නොමිලේම. පෙනුම නම් ඒ තරම් අලංකාර නෑ. ඔය පහල තියෙන්නේ ස්ක්‍රීන්ෂොට් එකක්!

TIPP10 – training window

05. Internet and Email Skills‍

මේ ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ මම හිතන්නේ. ඉන්ටර්නෙට් වලට සම්බන්ධ වෙන්න, සෙවුම් යන්ත්‍ර භාවිතා කරන්න, වෙබ් අඩවි වලට පිවිසෙන්න, පින්තූර/වීඩියෝ ආදිය ඩවුන්ලෝඩ් කරගන්න, ඊමේල් යවන්න ඔයාට පුලුවන් වෙන්න ඕනෙමයි. මොකද අපි දැන් ජීවත් වෙන්නේ ඒවගේ යුගයකනෙ.

06. Social Media Skills

ඔයා දන්නවද, දැන් CV වල අලුත්ම trend එක විදියට ඔයාගේ පෞද්ගලික විස්තර අතරට ඔයාගේ Facebook, Instagram වගේ social media profile වල ලින්ක්ස් ඇතුලත් කරනවා කියලා? ඒවා ඇතුලත් කරලා නැතිනම්, බොහෝවිට සම්මුඛ පරීක්ෂණයේදී හරි ඔබෙන් ඉල්ලනවා.

ඔවුන් ඒවා පරීක්ෂා කරනවා. එයින් ඔවුන් තීරණය කරනවා ඔයා කොච්චර සමාජශීලී ද, කෙතරම් වගකීම් සහගත කෙනෙක් ද කියන එක.

ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම සමාජ මාධ්‍ය තුල සක්‍රීයව, සමාජශීලීව සහ වගකීම් සහගතව කටයුතු කළ යුතුයි. හැබැයි මතක තියා ගන්න, කාලෙ නම් නාස්ති කරගන්න එපා!

අවසාන වශයෙන්,

ලිපිය ටිකක් විතර දිග වුනා නේද? ලිපියේ මාතෘකාවෙ හැටියට එහෙම වෙන්න එපායැ. මම මේ ලිපියෙන් කියන්න උත්සාහ කලේ ඔබේ වෘත්තීය ජීවිතයට වැදගත් වන පරිගණක කුසලතා ගැන කෙටි විස්තරයක් කියන්න. හැබැයි දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති.‍

මේ මනුස්සයා අපිට මේ මේ පරිගනක හැකියාවන් තියෙන්න ඕනෙ කියල කිව්වට ඒවා ඉගෙන ගන්නෙ කොහොමද කියලා කියා දුන්නෙ නෑනෙ! කියලා. කලබල වෙන්න එපා, මම ඒ ගැන ඉතා ඉක්මනින් අලුත් ලිපියකින් ඔයාලව අප්ඩේට් කරන්නම්.

අන්තර්ජාලයෙන් අදාල පාඩම් මාලා සිංහල මාධ්‍යෙයන් හොයා ගන්න පුලුවන් වුනොත් ඒවායේ ලින්ක්ස් දෙන්නම්, නැති වුනොත් මමම අදාල පාඩම් ටික සකස් කරනවා. මේක මගේ පොරොන්දුවක්! එතෙක් ආයුබෝවන්!

ගැටලු එහෙම තියෙනවානම් කොමෙන්ටුවක් දාන්න. මම අනිවාර්යයෙන්ම උත්තර දෙනවා.

Featured image credit: https://www.humanresourcesonline.net/employees-value-skills-training-college-degrees/

1
Leave a Reply

Please Login to comment
avatar
1000
1 Comment threads
0 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
0 Comment authors
The 5 Steps Needed For Putting Make A Word Document Look Good Into Action. » 5 Computer Tips & Tricks Recent comment authors

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
newest oldest most voted
Notify of
trackback

[…] Recommended reading:Not only making Word document looks professional but also you should have many basic computer skills if you are looking for a job. […]