How to Secure Your Facebook Account

ඔබේ Facebook ගිණුම ආරක්ෂිතව භාවිතා කරන්න සරල උපදෙස් 05 ක්!

ලංකාවේ විශේෂයෙන්ම තරුණ තරුණියන් අතරේ Facebook account එකක් නැති කෙනෙක් හොයා ගන්න බැරි තරම්. ඒ තරමටම Facebook අද වන විට අපේ තරුණ ප්‍රජාව තුල ජනප්‍රිය වෙලා. මම මෙහිදී තරුණ ප්‍රජාව ගැන විශේෂයෙන් කතා කලත්, සත්‍ය තත්ත්වය නම් වයස් භේදයකින් තොරව අද සෑම කෙනෙක් ම Facebook ගැන උනන්දුවක් දක්වනවා.‍

මේ උනන්දුව අද වන විට රටේ හතර දිග්බාගයේ විසිරී සිටින අපේ මිතුරු මිතුරියන්ට සැණෙකින් එකිනෙකා සමග සම්බන්ධ වීමට හේතු වෙලා තියෙනවා. හැබැයි, “ඵල ඇති රුකටනෙ ගල් ගහන්නේ“ කියලා කියමනක් තියෙනවා වගේ අද වන විට ලෝකය පුරා දිනපතා Facebook ගිණුම් දහස් ගණනින් හැකර් කරුවන්ගේ ප්‍රහාර වලට ලක් වෙනවා. ඒ අතරම, ලක්ෂ ගණන් Facebook ගිණුම් හිමියන්ගේ profile වල තිබෙන ඇතැම් පුද්ගලික තොරතුරු සොරකම් කිරීම සහ අයථා භාවිතයන් පිළිබද තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.‍

මේ සිද්ධියට තනිකරම හැකර් කරුවන්ට පමණක් චෝදනා එල්ල කරන්නට බැහැ. (මොකද ඒක උන්ගේ රස්සාව!) Facebook පරිශීලකයන් විදියට නොදැනුවත්වම හෝ අපෙන් සිදුවෙන විවිධ වැරදි සහ අඩුපාඩුත් හැකර්කරුවන් ඒ තැනට පෙළඹෙන්න හේතු වෙලා තියෙන බව නම් පැහැදිලියි.

උදාහරණ විදියට: දුර්වල password භාවිතා කිරීම, අනාරක්ෂිත පරිගණක ජාල වලින් (free VPN වැනි) Facebook වෙත පිවිසීම, පුද්ගලික තොරතුරු මහජනයාට විවෘත කිරීම (public posts) ආදිය දක්වන්න පුලුවන්.

ඉතින් මම මේ ලිපියෙන් බලාපොරොත්තු වුනේ අපි අතින් නොදැනුවත්ව ම (හෝ ඇතැම්විට දැනුවත්ව ම) සිදුවෙන විවිධ අඩුපාඩු මගහරවා ගනිමින් අපේ Facebook profiles වඩාත් ආරක්ෂිතව පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණාව ගැන තොරතුරු ටිකක් ඔයාලත් එක්ක කතාබහ කරන්න.‍

මේ සරල උපදෙස් ටික අනුගමනය කලොත් 100% ක්ම නැතත්, බොහෝ දුරට ඔයාගෙ Facebook profile එක ආරක්ෂිතව තබා ගන්න පුලුවන් වේවි. ඉතින් හරිබරි ගැහිලා ලිපිය සම්පූර්ණයෙන් ම කියවන්න ලෑස්ති වෙන්න.

01. Facebook සදහා වෙනම Password එකක් භාවිතා කරන්න

සාමාන්‍යෙයන් ගොඩක් අය කරන වැරැද්දක්නෙ, එකම password එක හැම online account එකකටම පාවිච්චි කරන එක. හැබැයි ඉතින් අවුල තියෙන්නේ එක් අනාරක්ෂිත වෙබ් අඩවියකින් ඔයාගේ password එක හැකර්කරුවෙකුගේ අතට ගියොත්, ඔයාට අයිති අනෙක් සියලුම account වලටත් සොරි තමයි.

ඒ නිසා අඩුම තරමේ ඔයාගේ Facebook account එකටවත් වෙනම password එකක් යොදා ගන්න උත්සාහ කරන්න.

02. හදුනා නොගත් ප්‍රවේශවීම් (Unrecognized Logins) පිළිබද අවධානයෙන් ඉන්න‍

මොකක්ද මේ “හදුනා නොගත් ප්‍රවේශවීම්“ එහෙමත් නැතිනම් unrecognized logins කියන්නේ? ඔයා සාමාන්‍යෙයන් නිතරම Facebook යන ඩිවයිස් එකක් තියෙනවානේ. සමහර විට ඒක ඔයාගෙ ස්මාර්ට්ෆෝන් එක, ටැබ් එක, ලැප් එක වෙන්න පුලුවන්. අන්න ඒ ඩිවයිස් එක හැර, වෙනත් ඕනෑම ඩිවයිස් එකකින් ඔයාගෙ Facebook account එකට ඇතුළු වෙන්න දරන උත්සාහයන් තමයි unrecognized logins කියන්නේ.‍

Facebook ගිණුමකට එන මෙවැනි හදුනා නොගත් ප්‍රවේශ වීම් ඔබට එවෙලේම දැනුම් දෙන සේවාවක් ඔබේ Facebook ගිණුමේ දැනටමත් තියෙනවා කියලා ඔබ දන්නවාද? ඔයාට කරන්න තියෙන්නේ ඒ සේවාව සක්‍රීය කරන එක විතරයි. සේවාව සක්‍රීය කළ පසු ඔයාගේ Facebook ගිණුමට එවැනි හදුනා නොගත් ප්‍රවේශ වීමක් වාර්තා වූ විගසම ඒ පිළිබද ඔයාව FB හරහා හෝ, FB messenger හරහා හෝ, ඊමේල් හරහා හෝ, SMS හරහා හෝ ඔයාව දැනුම්වත් කරනවා.

ඔයාට කරන්න තියෙන්නේ ඒ වාර්තාව අධ්‍යයනය කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක. ක්‍රියාමාර්ග කියලා මහලොකු දේවල් නෙවෙයි, වාර්තාවේ තියෙන ප්‍රවේශ වීම් උත්සාහය (login attempt) ඔයාට සැකසහිතයි නම් වහාම password එක වෙනස් කරන්න.‍

මේ අගනා සේවාව සක්‍රීය කරන්නේ මෙන්න මෙහෙමයි.

  1. ඉහතින් තියෙන තිර රූපයෙන් පෙන්වන ආකාරයට ඔයාගේ Facebook වෙබ් පිටුවේ දකුණු පැත්තේ ඉහළ කොනේ තියෙන, down arrow එක (පහලට යොමු වුනු ඊහිස) උඩ ක්ලික් කරලා “Settings” තෝරන්න.
  2. විවෘත වෙන Settings පිටුවේ වම් පැත්තේ තියෙන මෙනු එකෙන් “Security and Login” තෝරන්න.
  3. වෙබ් පිටුව පහල scroll කරන්න.
  4. “Setting Up Extra Security” කියන කොටස හොයාගෙන එහි තිබෙන “Get alerts about unrecognized logins” ලෙස දක්වා ඇති විකල්පය මත හෝ එහි ඉදිරියෙන් ඇති “Edit” බොත්තම මත ක්ලික් කරන්න. (පහල තිර රූපය බලන්න.)
  5. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ notifications ගන්න කැමති ක්‍රම ටික තෝරලා අවසානයට “Save Changes” බොත්තම මත ක්ලික් කර එය සේව් කරන එක විතරයි.

03. Two-Factor Authentication භාවිතා කරන්න

Two-factor authentication එකේදි වෙන්නේ ඔයා සාමාන්‍යෙයන් FB යන්න පාවිච්චි කරන ඩිවයිස් එක හැර වෙනත් ඩිවයිස් එකකින් login වෙනවා නම් එහිදී අමතර ආරක්ෂක පියවරක් ඇතුලත් කිරීමක්. තවත් විදියකින් කිව්වොත්, ඔයාට (හෝ වෙනත් කිසිම කෙනෙකුට) වෙනත් ඩිවයිස් එකකින් FB වලට login වෙන්න ඔයාගේ දුරකතන අංකය/ඊමේල් ඇඩ්‍රස් එක සහ password එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

ඒ වගේ අවස්ථාවක දී, ඔයා කලින් දීලා තියෙන ෆෝන් නම්බර් එකකට security code එකක් එවනවා. අන්න ඒ කෝඩ් එක login වෙනකොට ඇතුලත් කිරීම අනිවාර්යයි. ඉතින් ෆෝන් එක තියෙන්නේ ඔයා ලගනේ. ඒ නිසා ඔයා නැතුව වෙනත් කිසිම කෙනෙකුට password එක දැනගෙන හිටියත් ඔයාගෙ FB ගිණුමට ඇතුළු වෙන්න බැහැ.

ඉතින් කොහොමද Two-factor authentication සක්‍රීය කරගන්නේ?

  • අර කලින් අංක 02 දී කියපු ආකාරයටම Facebook හි Security and Login settings වලට පිවිසෙන්න.
  • පහලට scroll කරලා “Use two-factor authentication” කියන කොටස හොයාගෙන ඒ මත ක්ලික් කරන්න.
How to Secure Your Facebook Account with two-factor authentication
  • විවෘත වෙන වෙබ් පිටුවෙන් “Get Started” බොත්තම මත ක්ලික් කර, “Text Message” යන්න තෝරන්න.
  • එහිදී ඔයා දැනටමත් FB වලදී පාවිච්චි කරන දුරකතන අංකයේ අවසාන ඉලක්කම් දෙක පෙන්වාවි. (ඒ අංකය හැර වෙනත් අංකයක් භාවිතා කිරීමට අවශ්‍ය නම් පමණක් “Use a different number” ලින්ක් එක මත ක්ලික් කර අලුත් දුරකතන අංකයක් ලබා දිය හැකියි.) එහිදී “Next” බොත්තම මත ක්ලික් කරන්න.
  • ඊලගට, ඔයාගේ ෆෝන් එකට ආපු SMS එකේ තියෙන ඉලක්කම හයේ කේතය ඇතුලු කරන්න. කේතය ආවේ නැත්නම් “Resend Code” මත ක්ලික් කරන්න.
  • අවසානයට “Finish” බොත්තම මත ක්ලික් කර “Two-Factor Authentication” සක්‍රීය කරගන්න.

04. විශ්වාසවන්ත Facebook මිතුරන් කිහිපදෙනෙකු ගෙන් උදව් ගන්න.‍

මොකද කරන්නේ ඔයාගෙ FB ගිණුමට මොනම ක්‍රමයකින් වත් ඇතුලු වෙන්න බැරිව ඒක ලොක් වුනොත් එහෙම? ඒකටත් විකල්පයක් තියෙනවා. ඒ තමයි, ඔයාගේ FB friends list එකේ ඉන්න ඔයාට වඩාත් විශ්වාසවන්ත මිතුරන් කිහිපදෙනෙකු ගෙන් උදව් ගන්න එක. එයාලට කියන්නේ “trusted contacts” කියලා.

ඉතින් ඔයාගේ FB profile එක මොන හේතුවක් හින්දා හෝ කවදා හරි ලොක් වෙන්න කලින් මේ trusted contacts ලිස්ට් එකට යාලුවන් 3 – 5 අතර ගානක් දාලා තියන්න.‍

මෙන්න මෙහෙමයි ඒක කරන්නේ.

  • Security and Login settings වල (දන්නවනේ යන විදිය?), Choose friends to contact if you get locked out මත ක්ලික් කරන්න.
  • මෙහිදී “Choose friends” ලින්ක් එක මත ක්ලික් කරලා ඔයාට ඔයාගේ වඩාත් විශ්වාසවන්ත යාලුවන් 3 – 5 අතර ගණනක් ඇතුලත් කරන්න පුලුවන්.

ඔයාගේ FB profile එක ලොක් වුනොත් ඒක යථා තත්ත්වයට පත් කරගන්න අවශ්‍ය ලින්ක් එකක් සහ කෝඩ් එකක් ඔයා තෝරාගත් යාලුවන්ට ලැබෙනවා. ඒ ලින්ක් එක සහ කෝඩ් එක පාවිච්චි කරලා ඔයාට නැවත ඔයාගෙ profile එක අන්ලොක් කරගන්න පුලුවන්.

05. ඔයා දාන පෝස්ට් වල Privacy Level එක පරීක්ෂා කරන්න.‍

මේ උපදෙස දෙන්නේ ගිණුමේ ආරක්ෂාවට නම් නෙමෙයි, ඔයා දාන පෝස්ට් වල ආරක්ෂාවට!

අලුතින් පෝස්ට් එකක් දානකොට වගේම තියෙන පෝස්ට් එකක් ෂෙයාර් කරනකොටත් ඒක ලැබෙන්නේ කාටද කියන එක ගැන කලින්ම සැලකිලිමත් වෙන්න. උදාහරණයක් – ඔයාගේ ඡායාරූප කිහිපයක් FB දානවනම්, ඒ ඡායාරූප බලන්න පුලුවන් වෙන්නේ කාටද කියන එක ගැන ඔයා කලින්ම තීරණය කරලා තියෙන්න ඕනේ.

‍මොකද, ආප්ප කාලා පැනලා ගියාට පස්සේ සැලුන් දොර ලොක් කරාට වැඩක් නෑනෙ නේද? 😄🍜🍜😄

ඒ නිසා අලුත් පෝස්ට් එකක් දාන හැම වෙලාවෙම ඒ පෝස්ට් එකේ privacy level එක පරීක්ෂා කරන්න අමතක කරන්න එපා!

ඔයාගේ පහසුවට ඔන්න මම ඒකේ තිර ඡායාරූපයකුයි, ඒ විකල්ප වල තේරුමයි දාලා තියෙනවා.

How to Secure Your Facebook Account with privacy level
  • Public – ලෝකයේ ඕනෑම කෙනෙකුට ඔයාගේ public profile එක හරහා මේ පෝස්ට් බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම ෂෙයාර් කරන්නත් පුලුවන්. බලන කෙනාට FB ගිණුමක් අවශ්‍ය වෙන්නේ නෑ.
  • Friends – ඔයාගේ යාලුවන්ට බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න පුලුවන්. හැබැයි ෂෙයාර් කරන්න බැහැ.
  • Friends except… – “Friends” විකල්පය වගේම තමයි. හැබැයි මෙහිදී අපිට සමහර යාලුවෝ නොසලකා හරින්න පුලුවන්. එතකොට ඒ අයට මේ පෝස්ට් එක පේන්නෙ නෑ.
  • Specific friends – ඔයාගේ යාලුවන් අතරින් තෝරාගත් යාලුවන් කිහිප දෙනෙකුට පමණයි මේ පෝස්ට් එක පේන්නේ.
  • Only me – පෝස්ට් එක දාන කෙනාට විතරයි. වැදගත් ඡායාරූපයක් හෝ වීඩියෝ එකක් වැඩි ආරක්ෂාවට FB දාලා තියන්න හිතනවා නම් මේ විකල්පය තෝරලා අප්ලෝඩ් කරන්න.

ඔයාගේ Facebook Account එකත් ආරක්ෂිතව භාවිතා කරන්න ඕනෙද?

එහෙනම් ආයෙ නැකැත්, අංජනම් බල බලා ඉන්න ඕනෙ නැහැ. මේ දේවල් ඉක්මනින් ඔයාගෙ FB profile එකටත් යොදා ගන්න අමතක කරන්න එපා. ගැටලු එහෙම ආවොත් මේ ලිපියට කමෙන්ට් එකක් දාන්න. මම හැකි ඉක්මනින් සහාය වෙන්නම්. එතෙක් මම සමුගන්නම්, ඔබට සුභ වේවා!

Featured image credit: https://nakedsecurity.sophos.com/2018/04/16/how-to-protect-your-facebook-data-updated/

1
Leave a Reply

Please Login to comment
avatar
1000
1 Comment threads
0 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
0 Comment authors
5 Tips on How to Create a Strong Password » 5 Computer Tips & Tricks Recent comment authors

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
newest oldest most voted
Notify of
trackback

[…] Recommended reading: 5 Tips on How to Secure Your Facebook Account […]