Check Antivirus Software Working Properly

How to Check if Your Anti-virus Software is Working Properly

පරිගනක වෛරස් ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෙ නෑ මම හිතන්නේ. මොකද, පරිගනක භාවිතා කරන හැම කෙනෙක්ම වගේ වෛරස් ගැන ටිකක් හරි දන්නවා. නමුත් පරිගනක වෛරසයක් කියන්නේ මොකක්ද කියලම මේ කතාබහ පටන් ගන්න එක හොදයි කියලා මට හිතෙනවා.

පරිගනක වෛරසයක් කියන්නේ පරිගනකයේ ගබඩා කර ඇති දත්ත වලට අහිතකර ලෙස බලපෑම් එල්ල කළ හැකි වැඩසටහනක් හෙවත් ක්‍රමලේඛයක්. පරිගනකයකට වෛරසයක් ආසාදනය වූ විගස එයට දී ඇති උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වෙමින් පරිගනකයේ ඇති තොරතුරු වලට හානි කරන්න පටන් ගන්නවා.

වෛරස වලින් ඇති කරන මේ අහිතකර බලපෑම් නිසාම ලෝකයේ පරිගනක භාවිතා කරන හැම දෙනාම පාහේ පුරුදු වෙලා ඉන්නවා තමන්ගේ පරිගනකයේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් (antivirus software) භාවිතා කරන්න.

මොන ප්‍රතිවෛරස මෘදුකාංගය භාවිතා කලත් එයට අපේ පරිගනකයේ ඇති තොරතුරු වෛරස වලින් ආරක්ෂා කර දෙන්න හැකියාව තිබිය යුතුයි.

Antivirus software එකකින් අපේ පරිගනකයට ආරක්ෂාව සපයන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා.

  1. Real time protection – පරිගනකය වෙත නිරන්තරයෙන් අවධානය යොමු කරමින් වෛරසයක් ක්‍රියාකාරී වන්නට පටන් ගත් විගසම එය අක්‍රීය කර දැමීමට කටයුතු කිරීමයි.
  2. On-demand protection – පරිගනක පරිශිලකයාකේ විධානයකට අනුව යමින් පරිගනකය හෝ ඉන් කොටසක් වෛරස වලින් ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීමයි. (උදාහරණයක් ලෙස, ඔබ පෙන් ඩ්‍රයිවයක් වැනි උපාංගයක් පරිගනකයට සම්බන්ධ කර එය ස්කෑන් කරන්නට උපදෙස් දීම දැක්විය හැකියි.)

පරිගනකයක දත්ත වල ආරක්ෂාව තහවුරු කිරීම සදහා මේ දෙකම අත්‍යවශ්‍ය වුනත් ඉන් වඩාත් වැදගත් වෙන්නේ අංක 01 න් කී කාරණාව බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?.

ඉතින් මේ ලිපියෙන් මම කතාබහ කරන්න අදහස් කලේ ඔබේ වෛරස් ගාඩ් එකේ ඉහත අංක 01 න් කී real time protection කියන කාරණාව හරි හැටි සිද්ධ වෙනවාද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්නේ කොහොමද කියන එක ගැන.

මේ සදහා විවිධ ක්‍රම විශාල සංඛාවක් තිබුණත් අපි වැදගත් ම ක්‍රම දෙකක් ගැන පමණක් හොයා බලමු.

01. EICAR Test File

අකුරු 68 කින් යුත් සරල ක්‍රමලේඛයක් වන මෙය පරිගනක ප්‍රතිවෛරස පර්යේෂණ සදහා වූ යුරෝපීය ආයතනය (European Institute for Computer Antivirus Research) මගින් නිර්මාණය කරන ලද්දක්.

ඔබට මෙම ක්‍රමලේඛය භාවිතා කිරීමට අනුගමනය කළ යුත්තේ හරිම සරල පියවර කිහිපයක් පමණයි.

1. නෝට්පෑඩ් එක විවෘත කර පහත දැක්වෙන කේතය පිටපත් කරගන්න.

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

2. එය පරිගනකයේ ඔබ කැමති තැනක සේව් කරගන්න. මෙහිදී ෆයිල් නේම් එකේ අවසානයට .exe සහ *.com යන extension දෙකෙන් එකක් ( සලකුණ නොමැතිව) අනිවාර්යයෙන්ම භාවිතා කරන්න අමතක කරන්න එපා. පහත දැක්වෙන තිර ඡායාරූපය බලන්න

Antivirus EICAR test file

ෆයිල් නේම් එකේ අවසානයට .EXE, .COM යන extension දෙකෙන් එකක් යොදන්න අමතක කරන්න එපා.

3. සේව් කළ වහාම ඔබේ ප්‍රතිවෛරස මෘදුකාංගය මගින් එය වෛරසයක් ලෙස හදුනා ගත් බව දැක්වෙන දෝෂ පණිවුඩයක් නිකුත් කරාවි.

02. COMODO Leak Tests

මෙය සුප්‍රසිද්ධ COMODO Anti-virus මෘදුකාංගය නිර්මාණය කල COMODO සමාගම විසින් නිර්මාණය කරන ලද්දකි. COMODO Leak Test මගින් පරිගනකය පුරා ඉතා කෙටි කාලයක් තුල පරීක්ෂා ගණනාවන් ම සිදු කරනවා. ප්‍රතිවෛරස මෘදුකාංග විසින් මෙම හැසිරීම ‘තේරුම් ගන්නේ’ විනාශකාරී ක්‍රමලේඛයක එනම් වෛරසයක හැසිරීමක් ලෙසයි.

ඔබේ ප්‍රතිවෛරස මෘදුකාංගය නිසි පරිදි ක්‍රියා කරනවා නම් මෙය ද අනිවාර්යයෙන්ම වෛරසයක් ලෙස හදුනා ගත යුතුයි.

  1. මෙය භාවිතා කිරීමට CLT.zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.
  2. එය ඔබ කැමති ඕනෑම ෆෝල්ඩර් එකකට extract කරගන්න.
  3. ‘clt.exe’ ෆයිල් එක ඩබල් ක්ලික් කරමින් එය විවෘත කරන්න.
COMODO Leak Tests Window

COMODO Leak Tests Window

COMODO Leak Tests වින්ඩෝවේ ‘Run’ බොත්තම එබීම මගින් අදාල ක්‍රමලේඛය ක්‍රියාත්මක කරවිය හැකියි.

Note!

Anti-virus software එකක ක්‍රියාකාරිත්වවය පරීක්ෂා කිරීමට ඇති දහස් ගණනක් වූ ක්‍රම අතරින් දෙකක් පමණයි අපි මෙහිදී කතාබහ කලේ. ඔබට තවත් මෙවැනි tools අවශ්‍ය නම් antivirus test tools ලෙස google හි සෙවුම් පාරක් දාලා බලන්න.

ඔබේ වෛරස් ගාඩ් එකත් මේ tool එකක් භාවිතා කරලා test කරලා බලන්න. අපිත් ආසයි ප්‍රතිපලය දැනගන්න. අනිවා අපිට කියන්න. බැරි වෙලාවත් ඔබේ වෛරස් ගාඩ් එකට මේ වැඩසටහන් එකක් වත් වෛරස් ලෙස හදුනා ගන්න බැරි වුනොත් පරීක්ෂා කරලා බලන්න real time protection ඔන් කරලා තියෙනවාද කියලා.

උදව්වවක් හෙම ඕනෙ නම් අනිවා අපිට කියන්න, පොඩි කොමෙන්ට් එකක් හොදටම ඇති. ඔබේ යාලුවන්ටත් මේ ලිපිය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.